Friday, August 30, 2013

ශ්‍රේෂ්ඨතම දානය ධර්ම දානය වන්නේ ඇයි?

ශ්‍රේෂ්ඨතම දානය ධර්ම දානය වන්නේ ඇයි?

ධර්ම දේශණයක් ඇසුරිනි (මෙතනින් අහන්න  http://www.youtube.com/watch?v=hHDkUzsCM8I (Preview) )


"බුදු රජාණන් වහන්සේ කියනවා ලෝකයේ දානයන් අතරින් ‍ශ්‍රේෂ්ඨම දානය තමයි ධර්ම දානය කියලා.
ධර්ම දානය නොදීම නිසා තමන්‍ට ධර්මය ලැබෙන්නෙ නැහැ හුඟක් වෙලාව‍ට.
සමහරුන්‍ට ධර්මය වැඩක්ම නැහැනෙ,තේ‍රෙන්නෙ නැහැනෙ.නමුත් මනුස්සයො වෙලා ඉපදුනා.
මනුස්සයො වෙලා ඉපදෙන්න කුසලයක් තියෙන්න ඕන.නැත්නම් මනුස්‍සයො වෙලා ඉපදෙන්නත් බැහැ.
පෙර ජීවිතයේ මනුස්සයො වෙලා ඉපදිල ඉදල පින් දහම් කළා.බණත් ඇහුවා.ඒ නිසා මනුස්ස ජීවිතයක් ලැබුවා.නමුත් ඒගොල්ලො මේ ධර්ම දානය කියන එක දුන‍්නෙ නැහැ.අනුන්‍ට බණක් කියල දෙන්න,ධර්ම පොතක් දෙන්න වගේ දේවල් කළේ නැහැ.එහෙම වුණාම
තමන්ට ධර්මය වැ‍ටහෙන්නෙ නැහැ.කොසොල් රජ්ජුරුවන්‍ට හි‍ටපු සංතිස්ස ඇමතිවරයා රහත් වෙන්න කලින් දවසෙ බීල හි‍ටියෙ හොඳටම.රජ්ජුරුවො ඔහුට සතියක‍ට රජකම දීල ඔහු අන්තඃපුරයේ බිස‍වුන් එක්ක හොඳට සතු‍ටු වෙවී හිටියෙ.ඒ බීල ඉන්න වෙලාවක ඔහු බුදු රජාණන් වහන‍්සේ ලඟින් ඇතා පිටේ යනවා. බුදු රජාණන් වහන‍්සේ දැක්කාම ඇතා පි‍ටින්වත් බැස්සෙ නැහැ.එතකොට‍ බුදු රජාණන් වහන‍්සේ සංඝයාට කියනවා "මහණෙනි,ඔය ඇතා පිටින් යන ඇමතියා හෙට උදේ වෙද්දි රහත් වෙනවා " කියලා.දැන්  එතකොට සංඝයා‍ට මේක ප්‍රශ්නයක් වුණා.මේ බීල යන කෙනෙක් කොහොමද හෙට උදේ  වෙද්දි රහත‍් වෙන්නෙ කියලා.ඔවුන් සිතුවා අවුරුදු ගණනක් බණ භාවනා කරලත් අප‍ට සෝවාන් වෙන්නවත් බැරි වුණා.එහෙම වෙද්දි ‍මේ බීපු කෙනෙක් කොහොමද  හෙට උදේ  වෙද්දි රහත් ‍වෙන්නෙ කියලා.ඉතින් අර ඇමතියා අන්තඃපුරේ ඉන්න තමන් කැමතිම බිසව එක්ක සතු‍ටු වෙවී ඉද්දි ඇය එක පාර‍ටම මැරෙනවා පපුවෙ අමාරුවක් හැදිලා.මොහු‍ට ඒ ගැන ශෝකය ඇති වෙලා බුදු රජාණන් වහන්සේ ලගට ගියාම,බුදු ර‍ජාණන් වහන්සේ බණක් කියද්දි ඔහු එතනදිම රහත් වෙනවා.
එතනදිම රහත් වෙලා ඔහු පිරිනිවන් පානවා අකුසල් විපාක දීලා.ඔහු ගිහියෙක් හැ‍ටිය‍ටමයි රහත්වෙන්නෙ.රජ ඇඳුම ඇඳගෙන ඉද්දි.නමුත් රහතන් වහන්සේ කෙනෙක්.කවුරුත් දන් නැහැ ඔහු රහත් වුණා කියලා.බුදු රජාණන් වහන්සේ විතරයි දන්නෙ.බුදු රජාණන් වහන්සේ කියනවා මේ දේහය පුච්චලා ඉතිරි වෙන ධාතුන්වලින් සෑයක් හදන්න කියලා.ඉතින් සෑයක් හදන‍්නෙ සාමාන්‍යයෙන් රහතන් වහන‍්සේලාටනෙ.ඉතින් ස්වාමින් වහන්සේලා අහනවා ඇයි‍ මේ සෑයක් හදන්නෙ ගිහියෙක්නෙ මැරුණෙ කියලා.එතකොට බුදු රජාණන් වහන්සේ කියනවා ‍"ඔව් ඔහු ගිහියෙක් තමයි ඒත් ඔහු
අරිහත්භාවය‍‍‍ට පත් වෙලයි පිරිනිවන් පෑවෙ"කියලා.දැන්  එතකොට හාමුදුරුව‍න‍්‍ට මේක ප්‍රශ්නයක්,කොහොමද මේ බීල හිට‍පු කෙනෙක් අරිහත්භාවය‍‍‍ට පත් වුණේ කියලා.ඊයෙ හොඳ‍ටම බීල වෙරිමතින්නෙ හි‍ටියෙ.එතකොට බුදු රජාණන් වහන්සේ කියනවා මොහු කාශ්‍යප බුදු රජාණන් වහන්සේගෙකාලයේ මනුස්සයෙක් වෙලා ඉපදුනා.(කාශ්‍යප බුදු රජාණන් වහන්සේ අවුරුදු විසි දහසක් ජීවත්වුණ බුදු කෙනෙක්.ඒ කාලෙ මිනිස්සු අවුරුදු විසි දහසක්
විතර ජීවත් වෙනවා.)ඔහු ජීවත් වුණේ පාරක හංදියක වගේ තැනක බුලත් විට කඩයක් වගේ ‍කඩයක් දාගෙන. ඉතින් ඔහු ගිහිල්ලා කාශ‍‍්‍යප බුදු රජාණන් වහන්සේගෙන් බණ අහල පැහැදෙනවා.නමුත් සෝවාන් වෙන්නෙ නැහැ.
පැහැදෙනවා .ආ‍යෙමත් බණ අහන්නවත් ‍සිල් ගන්නවත් මොකක‍ටවත් යන්නෙ නැහැ.ඔහු මොකද කරන්නෙ අර හංදියෙ ඉඳන් එතන‍ට එනහැම කෙනෙකු‍ටම කියනවා "අන්න බුදු රජාණන් වහන්සෙ වැඩ ඉන්නවා, ගිහිල්ල බණ අහන්න"කියලා.ඔහු අවුරුදු අවුරුදු විසි දහසම ඒක තමයි කරන්නෙ.ඔහු සිල් ගන්නවත් දන් දෙන්නවත් ගියේ නැහැ.අර දේ තමයි කළේ.ආපු මිනිස්සු දහස් ගණන් බණ අහල රහත් වුණා.සමහරු‍ සෝවාන් වුණා.සමහරු‍ අනාගාමී වුණා.දස දහස් ගණනක් මිනිස්සු නිවන් දැක්කා.නමුත් අර මනුස්සය‍ට මුකුත් වු‍ණේ නැහැ.

බුදු ර‍ජාණන් වහන්සේ කියනවා අන්න ඒ කුසලය තමයි මොහු‍ට විපාක දුන්නෙ කියලා.ඔහු ශීලයක් නොරැක්කා‍ට අර දස දහස් ලක්ෂ ගණනක‍ට ශීලය රකින්න කළ උපකාරය ඔහු‍ට කුසල් විපාකයක් වුණා කියල බුදු රජාණන් වහන‍්සේ දේශනා කරනවා.

සංසාරයේදි අන්න ඒ විදියේ  දේ නොකළ අය‍ට කොච්චර ධර්මය කිව්වත් ඔවුන‍්ට ඒවා වටින්නෙ නැහැ.ඒනිසා ලෝකයේ ‍‍ශ්‍රේෂ්ඨම දානය ධර්ම දානය බව තෙරුම් ගන්න.ඒකෙන්මයි අප‍ට මාර්ගය පාදල දෙන්නෙ.කොතන ගියත් ක්ෂණිකව ඒ මාර්ගය පාදල දෙනවා සංසාරයේදි.දැන් ඔබ කියනවනෙ මේ අහන බණ ගිහිල්ල බිරිඳට කියනවා කියලා.නමුත් සමහරු බිරිඳට තියා කාටවත්ම කියන්නෙ නැහැ,කැමති නැහැ කියන්න.ඉතින් ඒ නිසා තමන් අහන ධර්මය අනික් අය‍ටත් කියන්න.මොකද ඒක තමයි ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨම දානය.ගිලන්පස ආහාර දාන වගේ නෙවේ.ප්‍රඥාව වැඩෙන්නේ ධර්ම දානයෙන්මයි.ඒ නිසා තමන් අහන ධර්මය තව කෙනෙකු‍ට කියන්න.තව කෙනෙකු‍ට බණ අහන්න සලස්වන්න.ඒක ගොඩක් උපකාරි වෙනවා ප්‍රඥාව වැඩෙන්න.අනෙක් දාන දුන්න කියල හුඟක්ම වැ‍ඩෙන්නෙ ආ‍යුෂ වර්ණ සැප බල විතරයි .ප්‍රඥාවක් වැඩෙන්නෙ නැහැ.
ධර්ම මාර්ගයේ යන්නනම් ප්‍රඥාවයි වැඩෙන්න ඕන.ප්‍රඥාව තමයි අප‍ට මේ මාර්ගය පෙන්වන්නෙ. සමහරු හොඳ ව‍ටිනා බණ අහල යනවා.නමුත් අනෙක් අය‍ට ඒ ගැන කියන්නෙ නැහැ.අඩුම ගණනෙ තව කෙනෙක් තමන්ව හාමුදුරුවො ලඟට එක්කන් යන්න කිව්වත් එක්කන් යන්නෙ නැහැ.එයා කැමති නැහැ අනිත් කෙනා බණ අහනව‍ට. එනිසා කවදාකවත් එයා‍ට ඒ ධර්මයෙන් ප්‍රයෝජනයක් ලැබෙන‍්නෙ නැහැ.ධර්මයෙන් ප්‍රයෝජනයක් ලැබෙන‍්නෙ අනුන්‍ට ධර්මය දෙන තරම‍ට. අතහැරීමක් එතනදි වෙන්නෙ.ඒනිසා තමයි බුදු රජාණන් වහන්සේ කියන්නෙ ලෝකයේ දානයන් අතරින් ‍ශ්‍රේෂ්ඨම දානය තමයි ධර්ම දානය කියලා. මේවා බොහොම සැඟවිලා තියෙන කරුණු.මේ කාරණා මිනිස්සු කියන්නෙ නැහැ.කියන්න දන්නෙ නැහැ.සමහරුන්‍ට බණ ඇහුව‍‍ට දැනෙන්නෙ නැහැ.තේ‍‍රෙන්නෙ නැහැ.එතනින් ඉවරයි.අමතක වෙනවා.සමහර වි‍ට බණ අහද්දිත් වෙන දෙයක් ගැන හිතනවා.එහෙම වෙන්නෙ පෙර ජීවිතවලදි ධර්ම දාන දීල නැති නිසා."

Letting go - Part two--මහ රහතුන් වැඩි මග ඔස්‌සේ "අතහැරිම" 2 කොටස

මහ රහතුන් වැඩි මග ඔස්‌සේ
"
අතහැරිම" 2 කොටස
රීකන්ඩිෂන් කරනු වෙනුවට
අවබෝධයෙන් දකිමු මේ කය
Inline images 1
ඔබ රටේ තොටේ සංචාරය කළොත් ඔබට හැමතැනකම දකින්න ලැබෙන දෙයක්‌ තමයි රූපලාවන්‍ය ආයතන. අතීතයේ අපි ගමක නගරයක ඇති බාබර් සාප්පුවක්‌ මිස මෙවැනි ආයතන දැක නැහැ. රූපය වර්ණවත් කරන රූපලාවන්‍ය ආයතන, ගුවන් විදුලි ආයතනවල, රූපවාහිනී සේවාවල රූපලාවන්‍ය වැඩසටහන් ඔබගේ රූපය වර්ණවත් කිරීම සඳහා, ප්‍රභාශ්වර කිරීම සඳහා මොනතරම් වැඩසටහන් කරනවාද. මේවා මෙහෙයවන හැඩකාර පිංවත් නෝනාමහත්වරුන් මොනතරම් ආත්ම අභිමානයකින්ද මේ රූපයට උරුම ජාති, ජරා, ව්‍යාධි, මරණ ආදිය මුදවපු කිරිවලින්, යෝගට්‌ වලින්, පිපිඤ්ඤා, කැරට්‌, බිත්තර සුදු මදවලින්, ක්‍රීම්, ජෙල්, ඩයි වර්ගවලින් පරාජයට පත්කරන්න උත්සහගන්නේ. ශරීරයේ දෙතිස්‌ කුණපයම ලස්‌සන කරන්න, රැළිවැටීම නවත්වන්න, කාන්තිමත් කරන්න, ඇති රෝම නැති කරන්න, නැති රෝම ඇති කරන්න, සුදු කෙස්‌ කළු කරන්න, කළු කෙස්‌ නා නා වර්ණ ගන්වන්න......

බලන්නකෝ, ආශ්චර්යමත් ක්‍රියාන්විතයක්‌ මේක.

මේ ක්‍රියාන්විතයේ රූපයේ හැඩගන්වලා, ඔපවත් කරලා, මෝස්‌තර විලාසිතා, විසිතුරු මාල, වළලු, මුදු පළන්දලා මේ කය අංග සම්පූර්ණ කරලා ගත්තහම මොන තරම් හැඩද. මෙවැනි හැඩකාර පිංවත් නෝනා මහත්වරුන් වයස්‌ භේදයකින් තොරව වර්තමානයේ වැහි වැහැලා. මේ අය "රීකන්ඩිශන්" කරපු තම කය දරාගෙන මහත් අභිමානයෙන් යුතුව කාලය ගත කළත් ඔබ දන්නවාද ඒ අය මොනතරම් බියකින්ද ජීවත්වෙන්නේ කියලා. තමා කෘත්‍රිමව සකස්‌කරගත් ශරීර ස්‌වභාවය, හැඩය, වර්ණය අහිමිවේය කියලා. මේ අහිමිවීම වැළැක්‌වීම සඳහා මොනතරම් මේ අය දුක්‌විඳිනවද, මහන්සි ගන්නවද.. ඒ වෙහෙස නේද දිනෙන් දින ඉහළ යන රූපවාහිනී රූපලාවන්‍ය වැඩසටහන්, රූපලාවන්‍යාගාර, විලාසිතා, ඇඳුම් මාලිගා, විසිතුරු පළඳනා යන ක්‍ෂෙත්‍ර වල දැවැන්ත වර්ධනය. මේ පිබිදීමට හේතුව ලෝකයා තුළ රූපයටත්, එහි හැඩය, වර්ණය, කාන්තිය, රිද්මය, ලාලිත්‍යය අහිමි වේය, අඩුවේය කියන බිය නිසාම ඇති වූවකි. 

වයස්‌ භේදයකින් තොරව ලෝකයා එහි ගිලනුන් බවට පත්වී ඇත. ඔවුන් මේ සොයන්නේ නැති දෙයකි. අනිත්‍ය බවට පත්වන දෙයකි, එහෙයින් ඔවුනට හිමි දුකම පමණකි. රූපලාවන්‍යාගාර, රූපලාවන්‍ය වැඩසටහන්, මුදවපු කිරි පිපිඤ්ඤා, කැරට්‌, බිත්තර සුදුමද මේ දුකේ, අවිද්‍යාවේ සංකේතයන්ය . සිහිවටනයන්ය.

යමෙක්‌ මේවායේ සේවාව සොයාගෙන යන්නේ නම් හේ අසරණයෙකි. දුකෙන් මිදීම පිණිස දුක ඇති කළ මාරයාම සොයායැමකි. ජාති, ජරා, ව්‍යාධි මරණ දුක නැතිකරගැනීම පිණිස ජාති, ජරා, ව්‍යාධි මරණ දුකම සොයායැමකි. රූපයේ ආශ්වාදය පමණක්‌ම කථාකරන අවිද්‍යාවේ හඬවල් ඔබව මේ ගාල් කරන්නේ දුකෙන් දුකටමය. දුකෙන් නිවීමට, සැනසීමට නොවේ. ඔබට මේ ජීවිතයේ නිවීම, සැනසීම අවශ්‍ය නම් ඔබ මේ අවිද්‍යාවේ හඬට සවන් නොදිය යුතුයි. එහි වහලෙක්‌ ගොදුරක්‌ නොවිය යුතුව. ධර්ම මාර්ගයේ ගමන් කරන පිංවත් මහත්ම මහත්මීන්, අනන්ත අප්‍රමාණව ඔබට මුණගැසී ඇත. ඒ අය ශරීරය අස්‌වාභාවික ලෙස හැඩනොගැන්වූ, ස්‌වභාවය විකෘති කරනොගත් උදවියයි. සුදුවත් දරාගෙන, බොහොම සංවර ප්‍රසන්න, ශාන්ත ස්‌වභාවයෙන් සමාජයේ ජීවත් වෙනවා. මේ අය දැකපුවහම කෙනෙකුට හිතෙන්න පුළුවන් දිව්‍ය ලෝකයේ දිව්‍ය දිව්‍යාංගනාවනුත් මේ වගේම ඇතිය කියලා. ඔවුන් ඒ තරමටම ප්‍රසන්න සුන්දර නිසා. ඒ අයගේ රූපලාවන්‍ය තමයි බුදු ගුණ භාවනාව, මෛත්‍රී භාවනාව, දාන ශීල ප්‍රතිපදාව. රූපය කියන්නේ මරණයක්‌. රූපය කියන්නේ ව්‍යාධියක්‌, රූපය කියන්නේ ඉපදීමක්‌. එහෙම දෙයකට මෝස්‌තර හැඩතල, රිද්ම දමනවා කියන්නේ මරණයකට, ඉපදීමකට, ව්‍යාධියකට මෝස්‌තර, හැඩතල, රිද්ම දැමීමක්‌. බලන්න අපි මොනතරම් අදක්‍ෂද? හැබැයි ඉතින් මේ ගැන පුදුම වෙන්න දෙයක්‌ නැහැ. අවුරුදු 80ක්‌ ජීවත් වෙලා ගෙදර ආත්තම්මා මිය ගියහම ගෙදර සාලය මැද්දෙ තිබෙන ඇගේ මිනී පෙට්‌ටිය වටේට පාට පාට විදුලි බුබුලු වැල් දමනවා. අත්තම්මාගේ ඉදුණු අවපැහැගැනුණු කොණ්‌ඩය, රැලි වැටුණු අතපය, ඉදුමුණු මුහුණ ලයිට්‌ එළියට ලස්‌සනට පේනවා. ගෙදර අය කියනවා, ආච්චි මැරුණත් මුහුණ හරි ලස්‌සනයි. මුහුණේ සිනා රැල්ලක්‌ තිබෙනවා කියලා. බලන්න අපි ජාති, ජරා, ව්‍යාධි, මරණ ආශ්වාදය කරන හැටි.

සුදු වෙන හිසකෙස්‌වලට වර්ණ දානවා කියන්නේ, 

රැළි වැටෙන සමට, ඇහි බැමට, නියපොත්තට රූප ලාවන්‍ය කරනවා කියන්නේ මරණයකට, ව්‍යාධියකට සාත්තු කරනවා කිරීමක්‌. ඔබ හිතලා බලන්න, පතිකුලයට යන පිංවත් මනාලියක්‌ පෙරවරු 10 ට පෝරුවට නගින්න තිබෙනවා නම්, රූපලාවන්‍ය ශිල්පියා ඇයව හැඩකරන්න ගන්නේ, ඒ කියන්නේ ඇයගේ ජාති, ජරා, ව්‍යාධි, මරණ වහන්න, සඟවන්න, යටගහන්න පටන්ගන්නේ පාන්දර තුනේ හතරේ පටන්. ඒ විතරක්‌ නොවෙයි. පතිනියගේ ශරීරය නිවෙන්නට, ප්‍රසන්න වෙන්න, කාන්තිමත් වෙන්න අවශ්‍ය උපදෙස්‌ පිළිපැදීම ඊට මාසයට පමණ පෙර සිටයි ඇය ආරම්භ කරන්නේ. මොකක්‌ද මේ උත්සහය. ජාති, ජරා, ව්‍යාධි, මරණ නොපෙන්වීමේ උත්සහයයි. හැබැයි මෙතනදී මනාලියට මෛත්‍රිය වැඩීම ගැනත් කියලා දෙනවා. සිත සන්සුන්ව තබාගන්න...

බලන්නකො රූපයේ ආදීනවය සමඟින් ආශ්වාදය තළු මරමින් වමාරන මාරයා මෙතැනදී මෛත්‍රිය ගැනත් කියලා දෙනවා. 

මඟුල් ගෙදර අමුත්තෝ මැද්දේ දහවල් කාලය ලංවෙද්දී වෙහෙස, තෙහෙට්‌ටුව, අවිවේකය, දහඩිය කඳුළු හේතුවෙන් මනාලියගේ සඟවපු ජාති, ජරා, ව්‍යාධි මරණ පවුඩර් දියවෙලා නැවත පෙනෙන්නට පටන් ගන්නවා. නැවත දහවල් කෑමෙන් පස්‌සේ රූපලාවන්‍ය ශිල්පියා මනමාලියගේ ජාති, ජරා, ව්‍යාධි මරණ පවුඩර් ක්‍රීම්වලින් වසාදමනවා. හැබැයි ඉතින් පිංවත් මනාලිය මනාල මහත්මයාගේ නිවසට ගියහම, යට ගැසූ ජාති, ජරා, ව්‍යාධි, මරණ ඔක්‌කොම පේන්න ගන්නවා. මේවා දැකලා මනමාලයා, මනමාලිය කම්පා වෙනවද? නැහැ. ගෙදර ගෙනාපු ජාති, ජරා, ව්‍යාධි, මරණ කොටම ගන්නවා. මා තුළ ඇය ඉන්නවා, ඇය තුළ මා ඉන්නවා කියා සිතා අපි ලුණුයි බතුයි කාල හරි ජීවත්වෙමුයි ගිවිස ගන්නවා. ඒ කියන්නේ මේ දුක අපි සැපයක්‌ම කරගමුයි කියන එකයි. "මගේ ජාති, ජරා, ව්‍යාධි, මරණ ඔබ ගන්න. ඔබේ ජාති, ජරා, ව්‍යාධි, මරණ මට දෙන්න." තියෙන දුක මදිවට අනුන්ගේ දුකත් තමාගේ කරගන්නවා. විවාහය නාමයෙන් සිද්දවුනේ එක සැපයක්‌ උදෙසා දුක්‌ ගොඩක්‌ අයිතිකර ගැනීමකි. ඒ කියන්නේ ඇත්තටම ඒ ගෙනාවේ මනාලියක්‌ නොවෙයි. දුකක්‌. දුකට අයිති දෙයක්‌.

මේ සියලු දුක්‌ කන්දරාව කුමක්‌ නිසාද හටගත්තේ. රූපය මගේ කරගැනීම නිසා. මොකක්‌ද රූපය කියන්නේ. ඔබ පිංවත් ස්‌වාමීන්වහන්සේ නමක්‌වේවා, පිංවත් පුරුෂයෙක්‌, ස්‌ත්‍රියක්‌ වේවා ඔබේ කය. උදාහරණයට ගන්න. කුමක්‌ නිසාද මේ කය පවතින්නේ. ආහාරය නිසාමයි. ජලය, බෙහෙත් නිසාමයි. කුමකින්ද මේ කය සැදී පවතින්නේ. පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා ධාතූන්ගේ තද ස්‌වභාවය, වැගිරෙන ස්‌වභාවය, උණුසුම් ස්‌වභාවය, වායු ස්‌වභාවය. ඉහත ස්‌වභාවයේ ධාතූන් හතරකින් තමයි මේ කය නිර්මාණය වී තිබෙන්නේ. මේ ධාතූන් වෙන් වෙන් වශයෙන් ශරීරයේ කොතැනකවත් නැහැ. මේක පඨවිය, ආපෝ, තේජෝ,වායෝ කියලා වෙන් වෙන් වශයෙන් ගන්න බැහැ. ඔබට උදාහරණයක්‌ කියන්නම්. ඔබගේ ශරීරයේ තැනකින් මස්‌ කැබැල්ලක්‌ කඩලා ගත්තොත් එම මස්‌ කැබැල්ල තුළ පඨවි, ආපෝ තේජෝ වායෝ ධාතූන් සියල්ලම තිබෙනවා. එහි තද ගතිය පඨවි ධාතුව. එහි තිබෙන රුධිරය ආපෝ ධාතුව. එහි තිබෙන උණුසුම තේජෝ ධාතුව, පීඩනය තිබෙනවා, එමනිසා රුධිරය ගලනවා, ඒ වායෝ ධාතුව.

ඒ කියන්නේ මස්‌ කැබැල්ල තුළ ධාතු කොටස්‌ හතරම තිබෙනවා. නමුත් අප සාමාන්‍ය ව්‍යවහාරයේදී මස්‌ කැබැල්ලට කියන්නේ පඨවි ධාතුව කියලයි. නමුත් දැන් ඔබට වැටහෙනවා ඇති මස්‌ කැබැල්ල තුළ පඨවි ධාතුව පමණක්‌ නොව, එකිනෙකට මුහුවුණු අනෙකුත් ධාතු කොටස්‌ තුනත් තිබුණු බව. 

ඔබ මුත්‍රා කෝප්පයක්‌ ගන්න. අපි සාමාන්‍ය ව්‍යවහාරයේදී මුත්‍රා කියන්නේ ආපෝ ධාතුවට, නමුත් මුත්‍රා වල සියුම් කුඩු ස්‌වභාවයක්‌ තිබෙනවා. ඒ තමයි පඨවිය. උණුසුම් ස්‌වභාවයක්‌ තිබෙනවා. ඒ තමයි තේජෝ ධාතුව. වැගිරෙන ස්‌වභාවයක්‌ තිබෙනවා. ඒ තමයි ආපෝ ධාතුව, පෙන බුබුලු නගින ස්‌වභාවයක්‌ තිබෙනවා. ඒ වායෝ ධාතුව. මේ කියන්නේ මුත්‍රා වල ධාතු කොටස්‌ හතරම අන්තර්ගතව තිබුණ බවයි. අධ්‍යාත්මික හෝ භාහිර යම් රූපයක්‌ වෙතොත් සෑම රූපයක්‌ම ස්‌වභාවය ඉහත පරිදිමය. නමුත් මෙහිදී කථාකරන්නේ අධ්‍යාත්මික රූපය ගැනය. ඔබගේ කය ගැනය. දැන් ඔබට පැහැදිලිය. කය යනු රූපයකි. රූපය සෑදී තිබුණේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ ධාතූන්ගෙනි. මේ ධාතු කොටස්‌ හතර නිතරම වෙනස්‌වෙමින් පවතින්නකි. රූපය අනිත්‍යභාවය වශයෙන් අපි දකින්නේ මේ වෙනස්‌වීමයි. ජාති, ජරා, ව්‍යාධි, මරණ වශයෙන් දකින්නේ මේ වෙනස්‌වීමයි. ලෝකයේ වේගවත්ම ක්‍රියාවලිය රූපය අනිත්‍යභාවයට පත්වන වේගයයි. ලෝකය තාක්‍ෂණික වශයෙන් මොන තරම් දියුණු වුවද, රූපය අනිත්‍යභාවයට පත්වන වේගය දැකීම පිණිස ජායාරූපයකට ගැනීමට සිතීම පවා මෝඩකමකි. මන්ද ලෝකයේ ප්‍රවේගකාරීම දෙය රූපය අනිත්‍යභාවයට පත්වන වේගය නිසාය. එය මේ මස්‌ ඇහැට දැකිය නොහැකිය. ප්‍රඥාවේ ඇසින් පමණක්‌ දැකිය හැක්‌කකි. ඒ වේගය යමෙක්‌ ප්‍රඥාවෙන් දකීද, හේ තම කයද වේගයෙන් අනිත්‍යභාවයට පත්වන රූපයක්‌ සේ දකියි. අවබෝධයෙන්ම කලකිරේ. රූපයෙන් නිදහස්‌ වේ. 

රූපයේ අනිත්‍යභාවය අවබෝධකරගත් භික්‍ෂුවට තම ප්‍රඥාවේ ඇසින් මහා ගල්කුළක්‌ එක මොහොතකින් අනිත්‍යයෙන් සියුම්භාවයට පත්කොට සුළගේ පාවී යන වායෝ ධාතුවක්‌ බවට දැකිය හැකිය. මහා සද්ධන්නත ගල්කුළක්‌ සුළඟ පාවී යන දුමක්‌ සේ දකිමින් ඒ අවබෝධය ලැබුවේ රූපයේ අනිත්‍යභාවයට පත්වන වේගයේ ප්‍රවේගයයි. මේ අනිත්‍යයේ ප්‍රවේගය දකින්නා රූපයට ඇති කැමැත්තෙන් මිදී නිස්‌සරණය ලැබීම ඒකාන්තය.

ඉහත අකාරයෙන් සතර මහා ධාතූන් අනිත්‍යභාවයට පත්වන විට, එකිනෙක සම්බන්ධව පවතින සතර මහා ධාතූන් අතර සියුම් අවකාශධාතුවක්‌ සකස්‌වේ. මේ අවකාශ ධාතුව දැකිය හැක්‌කේ ප්‍ර+ඥාවෙන් පමණක්‌මය. මස්‌ ඇසට මේ අවකාශ ධාතුව නොපෙනේ. සාමාන්‍යයෙන් අවකාශ ධාතුව වශයෙන් හදුන්වනුයේ කන් සිදුර, නාස්‌ සිදුර, නාභිය වැනි අවකාශයන්ය. එහෙත් එය ප්‍රාථමික දැනීමකි. සැබෑ ඇතිවී නැති වී යන අවකාශ ධාතුව නිර්මානය වන්නේ එකමවිට පවතින්නාවූ සතර මහා ධාතූන්ගේ ප්‍රවේගයෙන් ඇතිවීම නැතිවීම වන විට ඇතිවන හිඩැසය. එම අවකාශය කවදාහරි අපි ප්‍රඥාවේ ඇසින්ම දැකිය යුත්තකි. 

ඔබට සරළ උදාහරණයක්‌ පෙන්වන්නම්. ඔබ මේසයක්‌ ළඟට යන්න. මේස ලෑල්ලට අඩියක්‌ පමණ උඩින් ඔබේ අත්ල තබාගන්න. එක ඇඟිල්ලක්‌ දික්‌ කරන්න. දැන් එම ඇඟිල්ල වේගයෙන් මේස ලෑල්ලට ගැටීමට සලස්‌වමින් ඉහළට ගන්න. ඉතා වේගයෙන් මෙය කරන්න. ඔබට පෙනේවී හැම මොහොතකට ඔබේ ඇඟිල්ල මේස ලෑල්ලේ වදිනබව. නමුත් ඇඟිල්ල ඉහළට යනවිට මේස ලෑල්ලේ වදින්නේ නැහැ. වේගවත් බව නිසා ඔබට මෙය දකිනන්ට බැහැ. අවකාශ ධාතුවත් ඔය වගේමයි. සතරමහා ධාතූන්ගේ වේගවත් ඇතිවීම, නැතිවීම නිසා ඇතිවන අවකාශය මස්‌ ඇහැට පෙනෙන්නේ නැහැ. දැන් ඔබට පැහැදිලියි පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන ධාතූන් හතරත්, එම ධාතූන්ගේ වේගවත් වෙනස්‌වීමත් නිසා හටගන්නා අවකාශ ධාතුවත්.

එහෙම නම් ඔබ මමය, මගේය කියලා හැඩකරන, ලස්‌සන කරන ඔබ කය අයිති කාටද? ඔබටද? නැහැ. එහි සැබෑ අයිතිකරු තමයි ස්‌වභාවධර්මය. කොහොමද මේ කය අයිති ස්‌වභාවධර්මයට යෑයි කියන්නේ. මේ කයත්, ස්‌වභාවධර්මයේම කොටසක්‌ නිසා මේ කය හැදිලා තිබෙන, පඨවි, ආපෝ, තේජෝ, වායෝ ධාතූන්ගෙන්මයි ස්‌වභාවධර්මය හැදිලා තිබෙන්නේ.

ඒ කියන්නේ ඉර, හඳ, තරු, වලාකුලු, මහපොළොව, ගස්‌ වැල්, දෙවියා, බ්‍රහ්මයා, නිරිසතා.... මේ සියල්ල හැදිලා තිබෙන්නේ හතරමහා ධාතූන්ගෙන්මයි. දැන් ඔබට වැටහෙනවා ස්‌වභාවධර්මය හැදිලා තිබෙන්නේ සතරමහා ධාතූන්ගෙන් කියලා. මේ ස්‌වභාවධර්මයේ සැබෑම අයිතිකාරයා තමයි අනිත්‍යය. දැන් මෙන්න මේ විදිහට ඔබ ඔබේ කය අයිති ස්‌වභාවධර්මයට කියලා ඔබට ඔප්පුකරගන්න. 

ඔබ මෙහෙම සිතන්න. මේ හාමුදුරුවෝ අපවත්වෙනවා. හාමුදුරුවෝ අපවත්වුණහම දායකයෝ මොකද කරන්නේ. හාමුදුරුවන්ගේ සිරුර ආදාහනය කරනවා. ගිණිතියනවා. හාමුදුරුවන්ගේ සිරුර ගිනිගන්නකොට එම ගිනි දළුවලට ඔබ හාමුදුරුවෝ කියලා කියන්නේ නෑ. ඔබ කියන්නේ තේජෝ ධාතුව කියලා. මේ හාමුදුරුවන්ගේ සිරුර බුර බුරා ගිනිගනිද්දී, මේ ගින්න ඇවිලෙන්නේ ශරීරයේ තිබෙන තෙල් වලට. සම මතුපිටට තෙල් උනමින් ගිනිගන්නා විට එම තෙල් වලට ඔබ හාමුදුරුවෝ කියලා කියන්නේ නැහැ. ඔබ කියන්නේ ආපෝ ධාතුව කියලා. මේ හාමුදුරුවන්ගේ සිරුර දැවී අහසට නගින දුමට "හාමුදුරුවෝ" කියන්නේ නැහැ. ඔබ එම දුමට කියන්නේ වායෝ ධාතුව කියලා. හාමුදුරුවන්ගේ සිරුර දැවිලා ඉතිරිවන අළු වලට, ඇට කැබැලිවලට ඔබ හාමුදුරුවෝ කියලා කියන්නේ නැහැ. ඔබ කියන්නේ පඨවි ධාතුව කියලා. ඔන්න එහෙමනම් දකින්න හාමුදුරුවෝ දරාගෙන සිටි කය අයිති කාටද, එම ශරීරය අවසානයේදී එකතුවුනේ කොහාටද? ස්‌වභාවධර්මයටමයි. පඨවි, ආපෝ, තේජෝ, වායෝ ස්‌වභාවයටමයි. එහෙනම් හාමුදුරුවන් හැටියටත් ගින්න, තෙල්, දුම, ඇටකටු, අළු වශයෙන් අපි දකින්නෙත් අනිත්‍යභාවයමයි. සතරමහා ධාතුවේ විවිධත්වයයි. ඔබේ ජීවිතයට මෙය ගලපාගෙන අවබෝධය ලබන්න බලන්න. ස්‌වභාව ධර්මයට අයිති දෙය, අනිත්‍යයට අයිති දෙය, ගින්නට, දුමට, අළුවලට, තෙලට අයිති දෙය මගේ කරගෙන, අපේ කරගෙන ස්‌වාමියා, බිරිඳ කරගෙන, අම්මා, තාත්තා කරගෙන දුක්‌විඳිනා අවාසනාවන්තයෝ අපි. මෙහි වඩා පුදුම විය යුත්තේ මෙය නොවේ. මේ කය මගේ කරගෙන, මේ කය නිසා මොනතරම් අකුසල් අපි රැස්‌කරගන්නවාද. මේ කයට ආත්මගරුත්වය ලබාදෙන්න, මුල්තැන දෙන්න, කැපී පෙනෙන්න, සැප දෙන්න, සිත කය වචනය කියන තුන්දොරින් මොන තරම් අකුසල් රැස්‌කරගෙන සතර අපායට වැටුනාද? ඒ වැටුනේ තමාට අයිති නැති ස්‌වභාවධර්මයට, අනිත්‍යයට අයිති දෙයක්‌ මගේ කරගැනීම නිසා නේද.

මේ කථාවේ මුලින් සඳහන් කළ පිංවත් මනාලියත්, මනාලයත් රූපලාවන්‍ය සොයා යන පිංවත් පිරිසත් ජාති, ජරා, ව්‍යාධි, මරණ වලින් මිදීමට යෝගට්‌, බිත්තර සුදුමද, මුදවපු කිරි, පිපිඤ්ඤා, කැරට්‌ සරණ යන පිංවතුන් හිතන්න උත්සහගන්න තමන් මේ සරසන්නේ, සැප දෙන්නේ, සැප දෙන්නේ තමාට අයිති නැති ගින්දරට,දුමට, අලුවලට, තෙල්වලට අයිති දෙයක්‌මය කියලා. ඒ නිසා ඔබ දක්‍ෂ වෙන්න ඔය කය රැකගැනීම, පෝෂණය කිරීම උදෙසා අකුසල් සිදු නොකරගන්න. ඇයි ඔබ ගින්දරට, තෙලට, දුම්වලට, අලු වලට අයත් දෙයක්‌ මගේ කරගැනීමට නිසා අපාගතවෙන්නේ. ඉහත ස්‌වභාවය නිතර මෙනෙහිකර අවබෝධය ලබාගැනීමට උත්සහගන්න. දැන් ඔබ දන්නවා ඔබ ඔය මගේ කරගෙන පෝෂණය කරන්නේ, මුහුණ සෝදවන්නේ, නාවන්නේ, ඇඟ සෝදවන්නේ, බෙහෙත් දෙන්නේ, නායකයා, ඇමැති, සභාපති, ලේකම්, උතුම් මහනායක, උතුම් අනුනායක පදවි ලබාදෙන්නේ ගින්දරට, දුමට, තෙලට, අලුවලට අයිති දෙයකටය. එහෙමනම් ඔබ ඔය ඔබේ ඇස, කන, නාසය, දිව, හිසකෙස්‌, නිය, දත්, සම, මස්‌ කියලා දැක්‌කෙත් ගින්දර, දුම, තෙල්, අලු හැටියට දැක්‌කෙත් එකිනෙකට වෙනස්‌ ධාතුවල වෙනස්‌වීමයි. අනිත්‍යභාවයයි. ඔතනින් ඔය අනිත්‍ය ක්‍රියාවලිය නවතින්නේ නැහැ. සතර මහා ධාතූන්ගෙන්, ඒ කියන්නේ නිය, දත්, මස්‌, සම් වශයෙන් තිබූ ස්‌වභාවය අනිත්‍ය භාවයට පත්වී ගින්දර, දුම, අළු, තෙල් බවට පත්වූවාසේම මේ ගින්දර, දුමද, තෙල්ද,අලුද ජාති ජරා ව්‍යාධි මරණවලට පත්වීම නිසා අනිත්‍යභාවයට පත්වනවා. මන්ද ඒවාත් සතර මහාධාතූන්ගෙන් සැදි රූපයක්‌ නිසා.

ඔබගේ ඔය කය ගින්දර, දුම, අළු, තෙල් බවට පත්වූවා සේම ගින්දර ගින්දර ස්‌වභාවයෙන්ම, දුම දුම ස්‌වභාවයෙන්ම, තෙල් තෙල් ස්‌වභාවයෙන්ම, අළු අළු ස්‌වභාවයෙන්ම පවතින්නේ නැහැ. රූපයේ අනිත්‍යභාවය නිසා ඒවාත් වෙනස්‌වෙනවා. මේවා ජලවාශ්ප බවට, සුළඟ බවට, වලාකුලු බවට, වැස්‌ස, පින්න, වලාකුලු, අළු දුවීලි, ජලය බවට, ගස්‌ කොළන් මේවායින් යෑපෙන පෝෂණය වන මත්ස්‍යයින් සත්වයින් බවට පත්වෙනවා. එහෙමනම් ඉහත ස්‌වභාවයට පත්වූයේ ඔබේ කයම නේද? ඔබ රූපලාවන්‍ය කළ යෝගට්‌, බිත්තර සුදුමද, පිපිඤ්ඤා, පවුඩර්, ක්‍රීම්වලින් වෛවර්ණ කරපු ඔබගේම ශරීරය නේද? ඔබ මහ පාරේ ගමන්කරන විට ඔබට ඉතා දුගඳහමන කසලගොඩක්‌ හමුවුනාය හිතන්න. ඔබ කසල ගොඩ කියන්නේ මොකද්ද? කවදාහරි අතීතයේ දවසක මනුශ්‍යයෙක්‌, නැතිනම් තවත් සත්වයෙක්‌, මගේ කියලා දරාගෙන සිටපු කයක්‌මයි. ඒ ධාතූන්ගේ වෙනස්‌වීමමයි. ඒ ශරීරයට අතීතයේ එම පුද්ගලයා රූපලාවන්‍ය කරන්න ඇති. රන්, රිදී, පළඳවන්න ඇති.

ඔබ ඔය මහා සාගරය දෙස බලන්න. ඔය මහා සාගරයේ තිබෙන සෑම ජල බින්දුවක්‌ම සත්වයාගේ නෙතින් ගලාගිය කඳුළු, රුධිරය, දහදිය. මේ ශරීරය ගිනිගනිද්දී ඇතිවූ දුම ජල වාෂ්ප බවට පත්වී ඒවායින් වලාකුළු සැදී ඇතිවූ වැස්‌ස. මහා සාගරයේ හැම දියබිඳක්‌ම මීට පෙර මනුශ්‍ය ශරීරයක්‌මයි. අපි මුහුදු වතුර වශයෙන් දකින්නේ සතර මහා ධාතුවේ විවිධත්වය, රූපයේ අනිත්‍යය. ලෝකයේ සුරූපීම ශිල්පියා හෝ ශිල්පිනිය, ඒ සුරුපීභාවය තිබියදීම මියගියහොත්, ඒ සිරුර පුච්චාදැමුවහොත්, එම කයත් ඔය වැස්‌සටම, ඔය ජලයටම, ඔය පසටම, ඔය වාතයටම, ඒවායින් වැඩෙන ගහකොළ, සතා සිව්පාවටම එකතුවෙනවා. එහෙමනම් මේ කයේ වෙනස්‌වීමේ ස්‌වභාවයෙන්ම නේද වැස්‌ස, හිරුඑලිය, ජලය, වාතය.... කොටින්ම මේ ස්‌වභාවධර්මය හැදිලා තිබෙන්නේ. 

ඔබේ ලේ නෑකම නිසා ඔබ අම්මා, තාත්තා, නංගී, මල්ලී, මාමා, නැන්දා, ආච්චි සීයා වශයෙන් හදුන්වනවා වගේම වැස්‌ස, ජලය මහපොළොව, ගහකොළ ඔබේ ලේ ඥාතීන්මයි. ඇයි ඒවාත් අතීතයේ ඔබේ කයින්, මසින්,ලෙයින්, ගින්නෙන්, දුමෙන්, අලුවලින් ඇතිවූ නිසා. බලන්නකො මනුශ්‍ය කය. ඒ කියන්නේ ඇස, කන, නාසය, ශරීරය කියන ධාතු ස්‌වභාවය වෙනස්‌වී වලාකුලු, ජලය, පස්‌, මහා සාගර, ගහකොළ, කැලිකසල බවට පත්වුණා. එම ස්‌වභාවයන් නැවත නැවතත් වෙනස්‌වෙමින් ආරම්භයක්‌, අවසානයක්‌ නොපෙනනෙන චක්‍රයක්‌ සේ ඇදීගෙන යනවා. එසේනම් වැස්‌ස, වලාකුලු, ගින්දර, මහපොළොව ඔබට අයිති නැහැ වගේම, ඔබේ අම්මා, තාත්තා, සහෝදරයා, ඥාතියා, දරුවා, ඔබට අයිතිද? මේ සියල්ල සතර මහා ධාතූන්ගේ විවිධත්වයි. මෙ විවිධත්වය ඇතිවූයේ අනිත්‍යභාවය නිසාමයි. එහෙමනම් මේ කය අයිති සතර මහා ධාතූන්ටයි. සතර මහාධාතූන් අයිත් ස්‌වභාවධර්මයටයි. ස්‌වභාවධර්මය අයිති අනිත්‍යයටයි. 

අනිත්‍යවූ දෙයක්‌ කුමක්‌ නිසා ඔබ ඔබේ කරගන්නද. ඉහත ස්‌වභාවය අවබෝධයෙන් වඩන්න, දකින්න, එවිට ඔබට අවබෝධයෙන් කලකිරේවී. මේ රූපය ගැන කලකිරීම නිසා රූපය ඔබට අතහැරේවී. අතහැරීම තුළ ඔබ ලබන්නේ නිදහස්‌වීමයි. ලෝකයේ උතුම්ම ආර්ය නිදහසයි.

Letting go- Part one---මහ රහතුන් වැඩි මග ඔස්‌සේ -- බුදුන්ගෙන්ම කමටහන් ලබාගන්න


මහ රහතුන් වැඩි මග ඔස්‌සේ
බුදුන්ගෙන්ම කමටහන් ලබාගන්න
Inline images 1

"අතහැරිම" - 1 කොටස

සම්බුද්ධ ශාසනයක්‌ මුණගැසී තිබෙන මෙවැනි දුර්ලභ අවස්‌ථාවක, ගිහි පැවිදි අපි වඩාත් උත්සහගන්නේ ශාසනය ආරක්‍ෂා කරගැනීමට සහ ශාසනයේ බර කරගසා ගැනීමටය.

පිරිත, ධර්ම දේශනා, දානමය පිංකම්, විහාර නඩත්තුව, සංවර්ධනය, දහම් පාසල්, ආගමික උත්සව, සමාජ සේවා, සමාජ සේවා කටයුතු නිසා දවසේ නිදි නොලබා අවිවේකයෙන් සිටින විට ඔබට දැනෙන වෙහෙස ඔබ දකින්නේ ශාසනයේ බර කරගසා ගැනීම නිසා ඇතිවෙන වෙහෙසක්‌ ලෙසය. මෙය වැරදි අර්ථකථනයකි. 

සම්බුද්ධ ශාසනය යනු ඔබට බරක්‌ දැනෙන දෙයක්‌ විය නොහැක. එය ඔබව බරෙන් නිදහස්‌ කරන, සැනසිල්ල ලබාදෙන දෙයකි. අපි අදිටන් කරගතයුත්තේ ශාසනයේ බර දැරීමට නොව, ශාසනයේ සැහැල්ලුව දැරීමටය. ශාසන ප්‍රතිපදාවේ යෙදෙන විට ඔබට වෙහෙසක්‌ බරක්‌ දැනේ නම් ඔබ, ඔබ ඉදිරියේම ප්‍රශ්නාර්ථයක්‌ තබාගත යුතුය. මග නොමග ගැන සිතීමට ඔබ නිහතමානී විය යුතුය. එහෙත් ඔබ සොයන්නේ ඔබේ ජීවිතයට සැපයක්‌ නම්, සතුටක්‌ නම්, ඔබට වෙහෙස මෙන්ම බර දැනෙනු ඇත. මන්ද ඔබ නැති යමක්‌ සොයන නිසාය. අපි බෞද්ධයන් විය යුත්තේද, පැවිදි විය යුත්තේද ශාසනයේ සැහැල්ලුව දැරීම සඳහාය. ශාසන ප්‍රතිපදාවේ යෙදීමේදී අපට බරක්‌, වෙහෙසක්‌ දැනේනම් එය අපට අවශ්‍ය නොමැත.

ගිහි පැවිදි අප නිවැරැදි ලෙස ආමිස ප්‍රතිපදාවේ යෙදෙන විට, ලොව්තුරු බුදුසමිඳුන්ට මහේශාක්‍ය ලීලාවෙන් ආමිසයෙන් පූජා පවත්වන විට, එහි ආනිසංශ වශයෙන් පූජා පවත්වන්නාට සිව්පසය ගලාගෙන එන්නේය. එය ආශ්චර්යයක්‌ නොවේ. බුදු බලය, සම්මා සම්බුදුරජානන් වහන්සේ කෙරෙහි ඔබ තුළ ඇති ශ්‍රද්ධාව ඔබට ලැබෙන දිට්‌ඨධම්මවේදනීය කුසල විපාකයකි. මෙම සෞභාග්‍යය සමාජයේ අපට නිතර දකින්න පුළුවන්. නමුත් කුසල විපාකයක්‌ වශයෙන් සෞභාග්‍යය ලැබෙනවිට අප පටලවා ගන්නවා. ඔබට මේ සෞභාග්‍යයේ විපාකය ලැබෙන්නේ, ලොව්තුරා බුදු සමිඳුන් කෙරෙහි තව තවත් ශ්‍රද්ධාව වඩවාගෙන උන්වහන්සේ දේශනා කළ ශීල සමාධි ප්‍රඥා මාර්ගයේ ඉදිරියටම විශ්වාසයෙන් වඩින්න. සෞභාග්‍යය තුළින් ඔබට විශ්වාසයක්‌ ලබාදෙන්නේ මේ දෙය කළොත් මේ දෙය ලැබෙනවා කීම පිණිසයි. එවිට ඔබ දක්‍ෂ විය යුතුයි. ආමිසයෙන් ප්‍රතිපත්තියට නැඹුරු වෙන්න. නමුත් අප සෞභාග්‍යය බදාගැනීමට ආමිසය තුළ සිරවෙනවා. එවිට තව තවත් සිව්පසය ගලාගෙන එනවා. අවසානයේ එම සිව්පසය විසින් අපව ග්‍රහනයකට ගන්නවා. එවිට ඔබ ශීල, සමාධි, ප්‍රඥා නිවන් මගේ ඉදිරියට නොයා, ඔබ සැපයි කියා සිතූ තැන නවාතැන් ගන්නවා. පදිංචි වෙනවා. මෙහි වැරැද්දක්‌ ඔබට පෙනෙන්නේ නැහැ. ඔබ දැන් සෞභාග්‍යය ලැබීමෙන් මත්වෙලා. ඔබට දුර පෙනෙන්නේ නැහැ. ඔබ දකින්නේ ළඟ පමණයි. ඈත තිබෙන ප්‍රඥා මාර්ගය ඔබට පෙනෙන්නේ නැහැ. මොකද ඔබ පසුපසටයි ගමන් කරන්නේ. අලෝකයට පිටුපාමින්, අඳුරේ අතපතගාමින් අපි මොනවද මේ සොයන්නේ. නැති සතුටක්‌, සෞභාග්‍යයක්‌ සොයනවා. ඔබ සොයමින් යන සතුට, සෞභාග්‍යයේ මිම්ම, සීමාව, සෑහීම, නොසැහීම තිබෙන්නේ ඔබ ළඟමය. මේවායේ තීරකයා, විනිශ්චයකරුවා ඔබේ ඇති වෙමින් නැතිවන සිතමය. එහෙත් ඔබ ලෝකය තුළ කිසිදා හමුනොවන සතුට සොයනවා. සැප සොයනවා.

ඔබට ලැබීමටත්, අතහැරීමටත් දෙකටම මඟ කියන්නේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇති ශ්‍රද්ධාවයි. ඔබ මෙහිදී දක්‍ෂ වෙන්න අවශ්‍යයි. කුමකටද? ලැබීම අතහැර ඔබට සිව්පසය ලාභසත්කාර ලබාදීමට මඟ පෙන්වූ ලොව්තුරා බුදු සමිඳුන් දැකීමට. ලොව්තුරා බුදුසමිඳුන් උන්වහන්සේව දකින්නට, ඔබට අවස්‌ථාව සලසාදී තිබියදී, ඔබ නැති සතුටක්‌ සොයමින්, නිදිමරා වෙහෙසෙනවා. විඩාවෙන් අවිවේකයෙන් සිටින ඔබ ඔබෙන් අසන්න, මේ මොහොතේ ඔබ සොයන්නේ එම නැති සතුටම නේද? කියලා.

සියලුම මනුෂ්‍යයන් විසි හතර පැයේම වෙහෙසෙන්නේ කුමක්‌ සඳහාද? ඔවුන් ඒ වෙහෙසෙන්නේ අයිති කරගැනීම සඳහාය. වැඩිකර ගැනීම සඳහාය. මොනවා අයිතිකර ගැනීම සඳහාද?

සැප, සතුට, වගකීම්, නායකත්වය වැඩිකර ගැනීමටය. අයිතිකර ගැනීමටය. මිනිසා පමණක්‌ නොව, තිරිසන් සතාද අරගල කරන්නේ, වෙහෙසෙන්නේ, සැරිසරන්නේ සැප සෙවීම සඳහාය. දෙවියෝද දිව්‍ය ලෝකවල බැසගෙන දිව්‍ය සැප, දිව්‍ය ඕජාව විඳින්නේ සැපයට ඇති කැමැත්ත නිසාය. සැපය නිත්‍ය යෑයි ගෙන සැප පසුපසම හඹායැම නිසා ඔවුන් නිරතුරුවම රැස්‌කරන්නේද තණ්හාවමය. තණ්හාව තුළින් ජනිතවන්නේද අකුසලයක්‌මය. සත්වයින්ට සැප සෙවීම සඳහා යන මේ අසාර්ථක ගමනේදී තමන් නොදැනුවත්වම සතර අපායට වැටී අනන්ත දුක්‌ විඳිමින් සැරි සැරීමට සිදුවනු ඇත. බ්‍රහ්ම ලෝකවල ජීවත්වමිත්‍ය දෘශ්ඨික, තෙරුවන් සරණ නොගිය බ්‍රහ්මයෝද නැවත සතර අපායට වැටී දුක්‌විඳීමේ ස්‌වභාවය ඇත. බ්‍රහ්මලෝක වල සිටින සම්‍යක්‌දෘෂ්ඨික බ්‍රහ්මයන් හැර අන් සියලු සත්වයන්ට සැපය සොයායන ගමනේදී අත්වනුයේ එකම ඉරණමකි.

දිව්‍ය සැප කෙටිය. සතර අපායේ දුක ඉතා දීර්ඝය. දිව්‍ය ලෝකයේ දෙවියන් නිරතුරුවම අනන්ත කාම සම්පත් විඳිමින්, එම කාම සම්පත් වලට තව තවත් ලොල් වෙමින්, අධික ආශාවෙන් කාමය පසුපස හඹායැම නිසාත්, නිරතුරුව තණ්හාව වැඩීම නිසාත් අකුසල රැස්‌කර ගනී. මේ හේතුවෙන් දිව්‍ය සැප ඉක්‌මනින් පිරිහී යයි. දෙවියන් නැවත සතර අපායට වැටීමේ ඉඩකට ඉතාම වැඩිය. එහෙයින් දිව්‍ය සැප කෙටිය. සතර අපායේ ජීවත්වන සත්ත්වයා, ඔහු විඳින දුක නිසාම නිරතුරුව වෛරය, ක්‍රෝධය සහිතව ජීවත් වේ. එතුළින් සෑම මොහොතකම එම සත්වයන් රැස්‌කරන්නේ අකුසලයක්‌මය. මේ හේතුවෙන් අකුසල් වැඩිවී, මේ සත්වයා දුකෙන් දුකටම පත්වේ. සතර අපායේ කොටස්‌කරුවන් බවටම පත්වේ. බ්‍රහ්ම ලෝකයේ ජීවත්වන බ්‍රහ්මයාද තමා විඳින සමාධි සැපය අනිත්‍ය යෑයි දකින මොහොතේම අරිහත්වයට පත්වීමට හැකියාව තිබියදී, සමාධි සැපය අනිත්‍ය යෑයි දකිමින් එහි සතුට සොයන නිසා, අරිහත්වයට තමා විසින්ම දොරගුළු දමාගනී.

බ්‍රහ්ම ලෝකයේ, බ්‍රහ්ම තලවල මිත්‍යාදෘෂ්ඨික බ්‍රහ්මයන්ද ඇත. ඒ මිනිස්‌ ජීවිත වලදී ශීලය, සමාධිය උපරිම මට්‌ටමින් වැඩීම නිසා බ්‍රහ්ම සැප ලබයි. නමුත් සම්මා සම්බුද්ධ ශාසනය තුළ තෙරුවන් සරණ නොගිය පිරිසකි. බෞද්ධයින් නොවේ. මේ බ්‍රහ්මයන් ප්‍රඥාව වඩවාගෙන නොමැත. ඔවුන් සිටින්නේ අවිද්‍යාව තුළය. එවැනි බ්‍රහ්මයන් නැවත සතර අපායට වැටේ. එහෙත් ශීලය, සමාධිය උපරිම මට්‌ටමින් වැඩීමේ ආනිසංස නිසා ඒ අයට කල්ප ගණන් බ්‍රහ්ම සැප ලැබිය හැකිය. කවදාහෝ දවසක තෙරුවන් මුණගැසී, තෙරුවන් සරණ ගොස්‌, ප්‍රඥාව වැඩී, සෝවාන් ඵලයට පත්ව, බ්‍රහ්ම ලෝකය තුළම නිවීමේ මඟට පත්වීමට මේ අයට හැකියාව ඇත. එතෙක්‌ ඔවුනද නැති සතුටක්‌ ලෝකය තුළ සොයන පිරිසක්‌මය. ඒ අය මිනිස්‌ ජීවිතවලදී අතහැරීම පුරුදුකොට ඇත. එහෙත් ඔවුන් අතහැරීම පුරුදුකොට ඇත්තේ ප්‍රඥාව නිසා නොව සමාධි සැපයට ඇති ලොල්වීම, තෘෂ්ණාව නිසාය. සියලුම සැප අතහැරියත් සමාධි සැපය නිත්‍ය බවට ඇති විශ්වාසය නිසාය.

සැප සොයන සියලු සත්වයෝ මේ යන්නේ කිසිදා තෘප්තිමත් නොවන ගමනකය. ඔබේ කුටිය දෙස බලන්න. එහි සුවපහසු පුටු,මේස, ඇඳ, ඇතිරිලි, පාපිස්‌නා, පලස්‌, රේඩියෝ, ආහාර පාන, කිරිපිටි, බෙහෙත් තිබෙනවාද? මේ සියල්ල තිබෙන්නේ තමන්ගේ ආත්ම ගරුත්වය, සැප සඳහාය.ඒ කියන්නේ නිරතුරුවම ඔබ සිටින්නේ දෙවැනියෙක්‌ සමඟමයි. හුදෙකලාව නම් නොවේ. ඔබම සිතන්න, තුන් සිවුරත් පාත්‍රයත් කියන සීමාවෙන් කොච්චර දුරස්‌වද ඔබ ඉන්නේ. එපමණටම තන්හාව ඔබේ හුදෙකලාව මකන හිතවතා වෙලා.

සක්‌විති රජ පදවියද, රාජ රාජ මහාමාත්‍ය පදවිද සංසාරයේ ලබා ඇති අපි , එම රජශ්‍රීය තළුමරමින් රසවිඳ ඇති අපි. වර්තමානයේදී අනවබෝධය නිසා නොවිඳපු රස, සැප සොයමින් තරගයක යෙදී සිටිමු. සංසාරයේ ඔබ සක්‌විති රජ පදවිය ලද මොහොතේදීද එම සක්‌විති රජ පදවියෙන් චුතවන මොහොතේදීද, ඔබ එම සැපයෙන් සෑහීමකට පත්නොවුණි. ඒ නිසාම තණ්හාවෙන් ගැටෙමින් ඔබ නැවත නැවත සසර සැප සොයන ගමනටම වැටුණි. මේ ඔබ යන්නේ එම මාර්ගයේය. මේ මාර්ගයට ඔබව දැම්මේ අන් කිසිවෙකු නොව, අවිද්‍යාවෙන් පිරි ඔබේ සිතමය. කෑදර, ගුණමකු, අවිචාරවත්, පංචකාමය සොයාගෙන අයාලේ යන ඔබගේ ඇති වෙමින් නැතිවෙන සිතමය. මේ කෑදරකම නිසාම ඔබව රැගෙන පැමිණි දුර තව රැගෙන යැමට නියමිත දුර, ඉලක්‌කම් වලින් ප්‍රකාශ කළ නොහැක. ඔබ කව්රුන් වුවද ඔබ මේ වෙහෙසෙන්නේ සැප සෙවීම සඳහා නොවේද? ඔබ මේ පුවත්පත අතට ගත්තේද ඔය සිත ඔබට අණ කළ නිසා නේද? ඒ සිත දැන් තිබෙනවාද? එය අනිත්‍ය වී ගොසිනි. ඒ සිත ඔබට අයිති දෙයක්‌ නොවෙයි නේද? ඔබට ආගන්තුකයෙක්‌ නේද? එහෙත් අතීතයේ යම් මොහොතක එම සිත නිත්‍ය යෑයි සිතා, ඔබේ යෑයි සිතා, සිත ක්‍රියාත්මක කළා නේද? ඒ තුළින් ඔබ කුසලයක්‌ හෝ අකුසලයක්‌ රැස්‌ කළා නේද? මේ දෙකම ඔබට රැගෙන යන්නේ බවයට නේද? එසේ නම් අනිත්‍ය වශයෙන් නොදකින සෑම සිතක්‌ම ඔබව සංසාරයට රැගෙන යනවා නේද?

ඔබ නිවන් අරමුණ කරා යන නිවීමේ මෙහෙයුමේ, යම් සන්ධිස්‌ථානයකදී ඔබගේ ඉදිරියට ලොව්තුරා බුදු සමිඳුන් වඩිනවා. එය ස්‌ථිරයි. නියතයි. එහෙම උන්වහන්සේ වැඩම කරලා ඔබට නිවන් මඟේ ඉතිරි දුර සම්පූර්ණ කරන්න කමටහනක්‌ දෙනවා. එය දෙන්නේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේමයි. උන්වහන්සේ ඔබට දෙන කමටහන තමයි ඇතිවුණ සිත අනිත්‍යයි කියලා දකින්න කියන කමටහන. ශාස්‌තෘන් වහන්සේ දෙන කමටහනක්‌ නිසා එය දැඩි ලෙස ඔබට දැනෙනවා. අවබෝධ වෙනවා. ඒ මොහොතේම ඔබ ලොව්තුරා බුදුරජාණන් වහන්සේව දැකපු සිත අනිත්‍ය වශයෙන් දකිනවා. උන්වහන්සේගේ රූපකාය, උන්වහන්සේගේ කමටහන, මේ සියල්ල අනිත්‍ය වශයෙන් දකිනවා. ඔබට වැඩෙන ප්‍රඥාව තුළ එය එසේ වනවාමයි. මෙහිදී ඔබ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ කියලා දකින්නේ ඔබ තුළ වැඩෙන ප්‍රඥාවයි. ප්‍රඥාවත් ලොව්තුරා බුදුරජාණන් වහන්සේත් කියන්නේ දෙකක්‌ නොව එකක්‌ය යන්න ඔබට මෙහිදී හොඳින් අවබෝධ වනවා. අපි හිතන්නේ නැහැ බුදුරජාණන් වහන්සේත් ප්‍රඥාවත් කියන්නේ එකක්‌ බව. එහෙත් ඔබ නිවීමේ මෙහෙයුමේ ක්‍රියාත්මක භාවයට පත්වීමේදී ඔබට මේ යථාර්ථය අවබෝධ වනවා. අද ලොව්තුරා බුදුරජාණන් වහන්සේ වැඩසිටිනවානම් ඔබට දෙන කමටහනත් ඔය කමටහනම විය යුතුය. ඇතිවුණ සිත අනිත්‍ය වශයෙන් දකින්න එය තණ්හාවෙන් තෙත්කොට ක්‍රියාත්මක භාවයට පත්වීමට ඉඩ නොදෙන්න. ඔබ මෙතෙක්‌ කළේද, කරමින් සිටින්නේද ඇතිවන සිත තණ්හාවෙන් තෙත්කර ක්‍රියාත්මකභාවයට පත්කිරීමය.

බලන්න ඔබ මොනතරම් වාසනාවන්තද කියලා. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ පිරිණිවී වසර දෙදහස්‌ හයසියයක්‌ ඉක්‌මගියද, ඔබ දක්‍ෂ නම් ඔබට පුළුවන් උන්වහන්සේගෙන් කමටහන් ලබාගන්න. උන්වහන්සේව දකින්න. උන්වහන්සේගෙන් ආරක්‍ෂාව ලබාගන්න. උන්වහන්සේ සැනසුණු ධර්ම මාර්ගයේ සැනසීම ලබාගන්න. 

අසූහාරදහසක්‌ පහන්ද, මල්ද, හඳුන්කූරුද, පිරිකරද පූජාකර ඔබ දකින්නේ දිව්‍ය, මනුෂ්‍ය සශ්‍රීක සංඥාවන්මය.

එම සංඥා භවගාමීය. එහෙත් ඔබ එම සිත අනිත්‍ය වශයෙන් දැකීමෙන් ඔබ දකින්නේ ධර්මයයි. ඔබ දකින්නේ ලෝකයේ සැබෑ ස්‌වභාවයයි. හැබැයි ඔබ තුළ තවම එම ශක්‌තිය මෝදුවී නැති නම්, ඔබ කළ යුත්තේ ඉහත පිංකම්වල යෙදෙමින්, ඔබ තුළ ඉහත ශක්‌තිය වර්ධනය කර ගැනීමය. එහෙත් ඔබ එකතැන පල්වෙන, එකතැන පදිංචිවෙන බෞද්ධයෙක්‌ නොවිය යුතුය. අත්විඳිමින්, අත්දකිමින්, අවබෝධය කරා යන බෞද්ධයෙක්‌ විය යුතුය. පෘථග්ජන සත්වයා කල්මැරීමට ඉතාමත් ප්‍රියය. අතීතය පුරාවට කළේද කල් මැරීමය. බහුතරයක්‌ බෞද්ධයෝ වර්තමානයේදීද මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනයේදී උන්වහන්සේගෙන් ධර්මය අසා, නිවන් දැකීමට බලාපොරොත්තු වෙති. ප්‍රාර්ථනා කරති. ඔබ ගිහි හෝ පැවිදි වුවද මෙසේ ප්‍රාර්ථනා කිරීමේදී ඔබ දකින්නේ මෛත්‍රී බුදුන් නොව, අවිද්‍යාවයි. ඔබ ප්‍රාර්ථනා කරන්නේ අවිද්‍යාවයි. නමුත් මෛත්‍රී බුදුන්ගේ ශාසනයේදී උන්වහන්සේගෙන් ධර්මය අසා නිවන් දකින්න යෑයි ඔබට අණකරන ඔබේ සිත අනිත්‍ය බව දැකීමෙන් ඔබ දකින්නේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේමයි. උන්වහන්සේ දේශනා කරන ධර්මයමයි. බලන්න ධර්මයේ ආශ්චර්යය. අද මේ මොහොතේදී ඔබට පුළුවන් මෛත්‍රී බුදුසමිඳුන් විසින් දේශනා කරන ධර්මය දකින්න. අත්විඳින්න. එහෙත් ඔබ තුළ ඇති අවිද්‍යාව නිසා, ඔබ දුක්‌ විඳිමින් කල්ප ගණනක්‌ සසර ඈතට යන්න යනවා. අවිද්‍යාව විසින් සත්වයාව මොනතරම් මුලාකරනවාද බලන්න. මෛත්‍රී බුදුසමිඳුන්වත්, උන්වහන්සේ දේශනාකරන ධර්මයත් මේ මොහොතේ දකින්න අවස්‌ථාව තිබියදී, භවයට කෑදර අපේ සිත, අපිව දුකටම ඇදගෙන යනවා. මෛත්‍රී බුදුසමිඳුන්ව පෙන්වනම් කියා අපිට අවිද්‍යාව පෙන්වනවා.

ඔබ දක්‍ෂවෙන්න නිරතුරුවම ඇතිවන සිත අනිත්‍ය වශයෙන් දකින්න. සිත ඔබට අයත් දෙයක්‌ නොවන බව දකින්න. ඔබට ආගන්තුකයෙක්‌ බව දකින්න. සිත ඔබේ දුක්‌ දෙන මිතුරා බව දකින්න. ඔබ මෙසේ දකිද්දී ඔබ තුළ වැඩෙන්නේ සතර සතිපට්‌ඨානයයි. ඔබ අවබෝධ කරන්නේ පංචඋපාදානස්‌කන්ධයයි. පටිච්චසමුප්පාදයයි. සප්ත බොඡ්ජංග ධර්මථාවයනුයි. ඔබ මේ කිසිවක්‌ සොයා යා යුතු නැත. හැදෑරිය යුතුද නැත. ඇතිවන සිත අනිත්‍ය වශයෙන් දැකීමේදී ඉහත ධර්මතාවන් ඔබ තුළ අයාසයෙන් තොරව වැඩෙනු ඇත. ඔබට අවබෝධවනු ඇත. සිතේ අනිත්‍යභාවය නොදකින්නා, මේ ධර්මතාවන් සොයාගෙන කමටහන් පංති දේශනා පසුපස යා යුතුය. ඔහු මේ සොයන්නේ තමා තුළ තිබෙන දෙයකි. සියල්ල සෙවීම අතහැර ඔබ මේ සතර මහා ධාතූන්ගෙන් සකස්‌වුණ, දෙතිස්‌ කුණපය ක්‍රියාත්මකභාවයට පත්කරන, ඇතිවී නැතිවී යන සිත ගැන පමණක්‌ සොයන්න. දකින්න. ඒ ඔබ සොයන්නේද, දකින්නේද ධර්මයයි.

ඔබට කතරගමට යැමට අවශ්‍යනම් ඔබ කළ යුත්තේ බස්‌ නැවතුමට ගොස්‌ කතරගම බසයකට ගොඩවී, ටිකට්‌පතක්‌ ලබාගැනීමය. එවිට බසය ඔබව කතරගමට රැගෙනයනු ඇත. කතරගමට යන ගමනේදී ඔබ වටපිටාව හොඳින් නිරීක්‍ෂණය කරමින් ගියහොත් ඔබට කළුතර බෝ සමිඳුන්ද, ගාල්ල වරායද, හම්බන්තොට ලුණු ලේවායද, තිස්‌ස මහසෑ සමිඳුන්ද දැකිය හැකිය. ඔබ බස්‌ රථයට ගොඩ නොවී බස්‌ නැවතුමේ සිටින අයගෙන්, එහෙත් නැතිනම් මාර්ග සිතියමකින් කළුතර බෝ සමිඳුන් ගැන, ලුණු ලේවාය, වරාය, මුහුද ගැන විස්‌තර තොරතුරු ඒවායේ ස්‌වභාවය ඇසීමට ගියහොත්, සෙවීමට ගියහොත් ඔබට බසය වැරදී අතරමං වීමට සිදුවනු ඇත. මෙපරිද්දෙන් ඔබ සිත දෙස බලාසිටින්න. එවිට සතර සතිපට්‌ඨානයද පටිච්චසමුප්පාය, පංචඋපාදානස්‌කන්ධය, සප්ත බොඡ්ජංග ධර්මයන් පෙණෙනු ඇත. දකිනු ඇත. අවබෝධය ලබනු ඇත. 

මේවා සොයා ටියුෂන් නොයා යුතුය.

සිත දෙස බලන්න. සිත යනු අනිත්‍යයයි. ලෝකයයි. සුන්දරත්වයයි. අසුන්දර බවයි. සැපයි. දුකයි. මෛත්‍රයයි.ක්‍රෝධයයි.භවයයි. නිවීමයි. කොටින්ම සිත යනු ලෝකයේ නිර්මාණකරුවායි.

සිත යනු දුක්‌ ගොඩකි.එහෙත් ඔහු ඔබගේ පරම මිතුරාය. ඔබට සැනසිලිබස්‌ තෙපලන සුරතලාය. හරි මග වසා වැරදි මඟ පෙන්වන වංචාකරුවාය. එසේම ඔබගේ ගැලවුම්කරුවාය. එනිසා අවබෝධයෙන් සිත හඳුනාගන්න. සිත ඔබේ කලණ මිතුරා කරගන්න. එය කළ හැක්‌කේ සිත අතහැරීමෙන්ය. සිත අතහැරීමේදී ලෝකයද ඔබට මඟහැරෙනු ඇත. 

සැප අනිත්‍ය වන බව දුක දන්නා නිසා, සැප අසලම දුක ගැවසෙමින් සිටියි. සැපය දන්නා දෙයත්, දුක දන්නා දෙයත් ඔබ නොදන්නේ සැපත් දුකත් දෙකම ඇති කළේ ඔබට ආගන්තුක, ඔබට අයිති නැති සිතක්‌ නිසාය. ඔබ සිත ගැන දන්නේ නැහැ. සිත ගැන බලන්නේ නැහැ. දිනපතා කණ්‌ණාඩි මේසය ළඟට ගිහින් හිස, රැව්ල, ඇස, කන, දිව, දත්, මුහුණ, කුරුළෑ, සම බලනවා. අඩුපාඩු තිබුණොත් විටමින් බොනවා. ක්‍රීම් ගානවා. මා තුළ මා බලනවා. ලස්‌සන කරනවා. නමුත් සිත ගැන බලන්නේ නැහැ. ඔබ, සැප සෙයාන සිත, ලස්‌සන සොයන සිතදෙස ප්‍රඥාවේ කැඩපතින් බලන්න. ඔබ දකින්නේ ඔබව නොව, මහා වේගයක්‌ පමණක්‌ය.